Tuesday, August 14, 2012

ඉරිදා, මම සහ ජීවිත පාඩම

කාලෙකට පස්සේ ඉරිදා උදෙන්ම නැගිට්ටා. මම දන්නේ නෑ අනිත් අය ඉරිදට "උදෙන්ම" කියලා අදහස් කරන්නේ කීයටද කියලා,  උනාට මම "උදෙන්ම" කියලා කිවුවේ උදේ 6.30. අම්මා රේඩියෝ එක දාලා සිංදුවක් අහගෙනම කුස්සියේ ඉදන් පොල් ගාන සද්දේ ඇහෙනවා. ඇදෙන් බැහැලා ඇස්දෙක තල තල නානකාමරේට යනගමන් කල්පනා කලේ "අම්මටත් මට වගේම සිංදුවක් නැතුව වැඩක් කරන්න බෑනේ" කියලා. කුස්සිය ලගින් නානකාමරේ දිහාට බිත්ති දිගේ යන මාව දැක්ක අම්මට, එක පාරටම හිතෙන්න ඇති කුස්සියේ ඔරලෝසුවේ වෙලාව වැරදී කියලා. අම්මා පොල්ගාන වේගේ ටිකක් වැඩි කරලා මට කියනවා 

"අද හොදටම පරක්කු වෙලානේ පුතේ, තාත්තටත් ඇහැරවන්න අමතක වුනා, කොහෙද දැන් මේ රේඩියෝ වල වේලාවක් කියන එකක්යෑ" කියලා. 

මට බකස් ගාලා හිනාගියා. මම අම්මට කිවුවා 

"බයවෙන්න එපා, වෙලාව හරියටම හරි, අම්මගේ කීකරු පුතා අද උදෙන්ම නැගිට්ටා" කියලා. 

එවෙලේ අම්මා දිග සුසුමක් හෙලලා ආයෙත් පෙර ලෙසම පොල්ගාන්න ගත්තට අම්මගේ මූණෙන් මට තේරුනා අම්මා නොකියා කියපු දේ. මම එහෙම්මම නානකාමරේට ඇදුනේ අම්මා අයෙත් මොකුත් කියන්න කලින්. මම මූණ හෝදන ගමන් රේඩියෝවේ ගිය දිවුල්ගනේ මහත්මයගේ සිංදුව මුමුණන්න ගත්තා.

"ලා දලු බෝපත් සෙමින් සැලෙන සේ........."

"කෝ මූණහොදගෙන ඉවරනම් එලියට එන්න පුතේ" තාත්තා නානකාමරේ දොර ලග ඉදන් කියනවා ඇහුනා.

මං නානකාමරෙන් එලියට ආවේ පොඩි ආඩම්බර ගතියකුත් එක්ක. "මටත් කලින් අද  චුටි පුතා නැගිටලනේ" කියලා තාත්තා හිතන බව මට හොදටම විශ්වාසයි.

කිවුවා වගේම මම තාත්තා ලගින් යද්දි  තාත්තා අම්මගේ අහනවා "උදේ ප්රවෘත්ති වලට කිව්වද අද වහිනවා කියලා?"

"නෑ ඇයි " අම්මා ඇහුවා.

පස්සේ තාත්තා හිනාවෙන ගමන් කියනවා "නෑ මේ චුටිපුතා උදෙන්ම නැගිටලනේ, අද ඉරිදා කියලා අමතක වෙලාද කොහෙද" කියලා.

මම සිංදුව ටිකක් සද්දේ වැඩි කරලා කියාගෙනම ගේ ඇතුලට ගියේ නානකාමරෙන් එලියට එද්දි තිබ්බ ආඩම්බරකම පයට පෑගෙන ගමන්.

අම්මා තාත්තටයි මටයි තේ හදලා "ළමායි තේ බොන්න" කියාගෙන සාලෙට ගියා. මම කොට කලිසමයි කමිසෙයි දාගෙන සාලෙට ගිහින් තේ එක අරන් කෙලින්ම ගියේ ඉස්තෝප්පුවට. මම ඉරිදට උදෙන්ම නැගිට්ටේ නැති වුනාට, සතියේ ඉතුරු දවස් හයම කුකුලා අතේ අරන් කරුවලේම තමා බෑන්ඩ් ප්රැක්ටිස් යන්නේ. ඒක නිසා අපේ ගෙදර අවට පරිසරය උදේකට දකින්න මට තිබ්බේ අපිරිමිත ආසාවක්. අද උදෙන්ම නැගිටින්න එක හේතුවකුත් ඒක. ගේ ඉස්සරහම තියෙන යෝධ නාගහේ කොළ අස්සෙන් එක එක ජාතියේ කුරුල්ලන්ගේ සද්ද ඇහෙනවා. පැත්තකින් ඉර නැගගෙන එන්නේ මුලු ගමටම තවත් අලුත් දවසක අරුණලු උදාකරමින්. ඔය අතරතුරේ ගමේ පන්සලට දහම් පාසැල් යන ගමේ පුංචි පැටව් අම්මලගේ තාත්තලගේ අතේ එල්ලිලා පන්සල දිහාට යනවා. නිකන් නෙමේ, ඇඩූ කදුලෙන්. "අනේ මුන්ගේ තියෙන කම්මැලි කම, ලොකුවෙච්ච කාලෙක කවදාහරි උඔලට මතක් කරලා හිනාවෙන්න හරි තියෙන්නේ ඔය අඩ අඩා යන පොඩි කාලේ තමා" මම මටම කියාගත්තා.

මම මේ හැමදේම දිහා බලාගෙන කල්පනා කලේ, "ඉරිදා උදේට විදින්න මෙච්චර දේ තියෙද්දිත්, මං ඇද බදාගෙන උදේ 10-11 වෙනකල් මොන කෙහෙල් මලකට නිදාගන්නවද" කියලා. තේ කෝප්පෙත් අරන්, බාටා කෑලි දෙක කකුල් දෙකට දාගෙන හෙමීට එලියට බහින්න හදද්දී අම්මයි තාත්තයිත් ඉස්තෝප්පුවට ආවා. 

අම්මා මං ලගට ඇවිල්ලා කියනවා "සද්ද නැතුව හෙමින් බලන්නකෝ පුතේ, ඔය ගැට පිච්ච ගහ යට ගහලා තියෙන ලෑල්ලේ ඉන්න ලේන්නු ටික. මං හැමදාම උදේට හීල් බත් ටිකක් දාන නිසා, දැන් වුන් ඔතෙන්ට හැමදාම එනවා" කියලා.

ඇත්ත නෙමෙන්නම්, ලේන්නු පවුල් පිටින් ඇවිල්ලා අම්මගේ හීල් බත් වලට වග කියනවා. අසාවේ බෑ.ඒ මදිවට එතන පොඩි දෙමලිච්චොත් ඉන්නවා. මිනිස්සු අතරේ නැති සාමකාමී බව මේ සත්තුන්ගෙන් දැක්කහම පුදුමත් හිතෙනවා. ඔහොම ඉන්න අතරේ තාත්තත් මිදුලට ආවා. 

"මං ඊයේ තැබිලි පැල දෙකක් අරන් ආවා, අපි දෙන්නා ඒක හිටවන්න ගමුද තව ටිකකින්?" මගේ පිටට තට්‍ටුවක් දාන ගමන් තාත්තා ඇහුවා.

"හා හා...හිටවමු. ඒත් කොයි හරියෙද හිටවන්නේ තාත්තේ?"

"වත්ත මැද්දට වෙන්න හිටවමු, එතකොට තැබිලි ආපු කාලෙක කාටවත් කඩන්නත් බෑනේ"

"කාටවත් කඩන්න බැරිවෙන්න මොකටද තාත්තේ තැබිලි හිටවලා? අඩුම ගානේ හිටවන අපිටවත් කඩාගන්න පුලුවන් වෙන්න එපැයි" මං කට කොනෙන් හිනාවෙන ගමන් කිවුවා.

"අම්මගේ කටනම් හිටලා තියෙනවා මොනා නැතත්" තාත්තා එහෙම කිවුවේ හිනාවෙවී අම්මා දිහාට හැරෙන ගමන්.

"වැරදිලා තියෙයි, කට නැතුව ජීවත් වෙන්න පුලුවන්ද බලන්නකෝ ඉස්සරහට. කෝ බීලා ඉවරනම් කෝප්ප දෙක දෙන්න මෙන්න මෙහාට" අම්මා අතේ තිබ්බ කෝප්ප දෙක ඉල්ලන් ගේ ඇතුලට ගියා.

උදේට හීනි සීතල හුළගත් එක්ක තියෙන නැවුම් බවේ හයියත් එක්ක තාත්තයි මමයි අලවංගුවයි උදැල්ලයි අරන් තැබිලි පැල හිටවන්න වත්තට ගියා. වලවල් කපලා තැබිලි පැල හිටවලා ඉවර වෙද්දි මගේ හිතේ 11 විතර වෙන්න ඇති. වෙනසකටත් එක්ක පල්ලෙහා වෙල ලග තියෙන කුබුක් ලිද ලගට ගිහිල්ලා හීතල වතුරෙන් පැය එකහාමාරක් විතර නාලා තෙත කලිසම පිටින්නම් ගෙදර ආවා.

වෙනදට ඔහේ ගෙවිලා යන ඉරිද දවස, අද කොච්චර වෙනසක් මගේ ජීවිතේ ඇති කලාද කියලා හිතාගෙනම අම්මා හදලා තිබ්බ කරවල බැදුමයි, පරිප්පුවයි එක්ක බත් ටික කෑවේ අම්මට පින්දෙන ගමන්.



Monday, August 13, 2012

අපි කවුරුද? අපි කොතැනද?



රත්වෙච්ච වැලි කැට සුළගත් එක්ක එකතු වෙලා හම පසාරු කරගෙන යන්න හදනවා. හුස්ම ගන්නවත් නිදහසක් නෑ. ගල්ෆ් රටක ඉදන් අපි කන කට්ට අපේ ගමේ වුන් හිතන්නේ පට්ට ෆන්  එකක් කියලා. මොකද වුන් හිතන් ඉන්නේ කාන්තාර පොළවේ සල්ලි ගස් හිටවලා, අපි ඒවායේ අතු උඩට වෙලා ඉදගෙන සල්ලි කඩ කඩ ඔ‍ටුවන්ට ගගහ ඉන්නේ කියලා. යථාර්තයට මුහුණදෙන අපි අනන්තවාරයක් පසුතැවිලි වෙනවා ඒ කාලේ ගමේ වෙල්යායට වෙලා කරපු පිස්සු මතක් කරලා. මෙහෙ ඉන්න අපි නොවැ දන්නේ සල්ලි වලට ජීවිතේ ගන්න බෑ කියලා.

අපේ ජීවිතත් දැන් හරියට ප්‍රවීණා නාට්‍ය වගේ. කොටස් බරගානක් පෙන්නලා උනාට දන්න කියන කාලේ ඉදලා අඩලා විතරයි. අපේ තාත්තා හැමවෙලේම කියන දෙයක් තමා "ජීවිතේ හැම සුන්දර හංදියකම අමතක නොවෙන ස්මාරකයක් හදන්න" කියන එක. ඒ උනාට මම මෙහේ ආපුදා ඉදලා හදපු ස්මාරකයක් නම් නෑ.ගමේ ඉන්න කාලේ ජීවිතේ කොච්චර රස විදලද කියලා ඒ කාලේ හදපු පුංචි ස්මාරක දැක්කම දැන් මට තේරෙනවා. ඇත්තටම කොච්චර සුන්දරද? වෙලේ පැනලා මඩ නාගෙන සෙල්ලම් කරන ගමන් කොල්ලන්ට කිව්වේ "රට ගිහිල්ලා හරි මිනිහෙක් වෙන්න ඕන බං" කියලා. රට ඇවිල්ලා කල්පනා කරනවා "ලංකාවේ ඉදලා පොඩි ජොබ් කෑල්ලක් කරගෙන, තියෙන විදියට කාලා හිටියනම් අද මිනිහෙක්නේ" කියලා. බලන්නකෝ එකේත් හැටි නේද?

ඒ කාලේ හවසට ඉස්පිරිතාලේ බතල කො‍ටුවට පැනලා, බතල හාරලා එතනම ඉදගෙන පුච්චං කාලා ගෙදර එද්දි අම්මගේ කොටහත් අරන් ආපු මට, රට ආවා කියලා අම්මට මොනාද කරන්න පුලුවන් වුනේ? මේ සේරම දන්නේ ක‍ටුකන අපි විතරයි. ඔ‍ටුවන්ගේ රටේ අපිවත් ඔ‍ටුවෝ ගානට සලකන හම්බයෝ, සුද්දන්ට බැලමෙහෙවර කම්කරනවා. අපි ඉතින් සුද්දන්ගේ නැට්‍ටුවො වෙලා ගහන ගහන පදේට නටාගෙන ඉන්නවා. ලංකාවේ හිටියනම් හොද දෙකක් කියලා හවසට ගෙදර ගිහිල්ලා අනිත් දවසේ අලුත් රස්සාවක් හොයන්න යන්න තිබ්බා. රස්සාවක් හොයාගන්න පරක්කු වුනත් ගහක් ගලක් වගේ ඉන්න තාත්තා කියයි "ඔහොම හෙමීට ඉදලා රස්සාවක් හොයාගන්න බලන්න, එතකන් මට උඔට කන්න අදින්න දෙන්න පුලුවන්" කියලා. අදටත් තාත්තා කියන්නේ "පුතේ උඔ ඉන්නේ සතුටින් නෙමෙයි නම්, ලංකාවට එන්න හෙටම" කියලා. ඒත් හිතට එකගව තාත්තට තව දුරටත් කරදරයක් වෙන්න බෑනේ. ඒක නිසා රත්වෙච්ච වැලි උඩ වාඩිවෙලා ඉදගෙනම තාත්තට කියනවා "මං හොදින් තාත්තේ" කියලා.ඒත් ඉතින් හැමදාම මේක කරන්න බෑනේ.


ජීවිතේ තවදුරටත් විදවනවද? විදිනවද? කියලා හිතන්න කාලේ ඇවිල්ලා. ලංකාවේ සාමාන්‍ය මිනිහෙක් විදියට ගමට ගිහිල්ලා ගෙදර මිනිස්සු එක්ක ලුණුයි බතුයි කාලා හිටියත් සැපයි කියලා හිතෙනවා. ගමේ වුන් සැපයි කියන ලොකේ වුන්ගේ ඇස් ඉදිරිපිට රගපාලා පෙන්නන්න කාලේ ඇවිල්ලා.

අතීතයට වෛර කරන්නේ අනාගතේට මුහුණ දෙන්න බය මිනිස්සු කියලා තමා අපේ අම්මා කියලා තියෙන්නේ. ‍රැල්ලට බයනම් මිනිහෙක් කවදාවත් මුහුදු යන්නේ නෑලු.යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නෑලු. එහෙනම් ඉතින් "මොන අහවල් එකට තවත් මෙහෙට වෙලා ක‍ටු කනවදෝ" කියලා මමත් මෙහෙන් චුත වෙන්න කල්පනා කලා.

අනාගතේ එන හැම ප්‍රශ්ණයක් විසදන්නම මේ කාපු කට්ට ඉවහල් වේවා.....