Monday, August 13, 2012

අපි කවුරුද? අපි කොතැනද?



රත්වෙච්ච වැලි කැට සුළගත් එක්ක එකතු වෙලා හම පසාරු කරගෙන යන්න හදනවා. හුස්ම ගන්නවත් නිදහසක් නෑ. ගල්ෆ් රටක ඉදන් අපි කන කට්ට අපේ ගමේ වුන් හිතන්නේ පට්ට ෆන්  එකක් කියලා. මොකද වුන් හිතන් ඉන්නේ කාන්තාර පොළවේ සල්ලි ගස් හිටවලා, අපි ඒවායේ අතු උඩට වෙලා ඉදගෙන සල්ලි කඩ කඩ ඔ‍ටුවන්ට ගගහ ඉන්නේ කියලා. යථාර්තයට මුහුණදෙන අපි අනන්තවාරයක් පසුතැවිලි වෙනවා ඒ කාලේ ගමේ වෙල්යායට වෙලා කරපු පිස්සු මතක් කරලා. මෙහෙ ඉන්න අපි නොවැ දන්නේ සල්ලි වලට ජීවිතේ ගන්න බෑ කියලා.

අපේ ජීවිතත් දැන් හරියට ප්‍රවීණා නාට්‍ය වගේ. කොටස් බරගානක් පෙන්නලා උනාට දන්න කියන කාලේ ඉදලා අඩලා විතරයි. අපේ තාත්තා හැමවෙලේම කියන දෙයක් තමා "ජීවිතේ හැම සුන්දර හංදියකම අමතක නොවෙන ස්මාරකයක් හදන්න" කියන එක. ඒ උනාට මම මෙහේ ආපුදා ඉදලා හදපු ස්මාරකයක් නම් නෑ.ගමේ ඉන්න කාලේ ජීවිතේ කොච්චර රස විදලද කියලා ඒ කාලේ හදපු පුංචි ස්මාරක දැක්කම දැන් මට තේරෙනවා. ඇත්තටම කොච්චර සුන්දරද? වෙලේ පැනලා මඩ නාගෙන සෙල්ලම් කරන ගමන් කොල්ලන්ට කිව්වේ "රට ගිහිල්ලා හරි මිනිහෙක් වෙන්න ඕන බං" කියලා. රට ඇවිල්ලා කල්පනා කරනවා "ලංකාවේ ඉදලා පොඩි ජොබ් කෑල්ලක් කරගෙන, තියෙන විදියට කාලා හිටියනම් අද මිනිහෙක්නේ" කියලා. බලන්නකෝ එකේත් හැටි නේද?

ඒ කාලේ හවසට ඉස්පිරිතාලේ බතල කො‍ටුවට පැනලා, බතල හාරලා එතනම ඉදගෙන පුච්චං කාලා ගෙදර එද්දි අම්මගේ කොටහත් අරන් ආපු මට, රට ආවා කියලා අම්මට මොනාද කරන්න පුලුවන් වුනේ? මේ සේරම දන්නේ ක‍ටුකන අපි විතරයි. ඔ‍ටුවන්ගේ රටේ අපිවත් ඔ‍ටුවෝ ගානට සලකන හම්බයෝ, සුද්දන්ට බැලමෙහෙවර කම්කරනවා. අපි ඉතින් සුද්දන්ගේ නැට්‍ටුවො වෙලා ගහන ගහන පදේට නටාගෙන ඉන්නවා. ලංකාවේ හිටියනම් හොද දෙකක් කියලා හවසට ගෙදර ගිහිල්ලා අනිත් දවසේ අලුත් රස්සාවක් හොයන්න යන්න තිබ්බා. රස්සාවක් හොයාගන්න පරක්කු වුනත් ගහක් ගලක් වගේ ඉන්න තාත්තා කියයි "ඔහොම හෙමීට ඉදලා රස්සාවක් හොයාගන්න බලන්න, එතකන් මට උඔට කන්න අදින්න දෙන්න පුලුවන්" කියලා. අදටත් තාත්තා කියන්නේ "පුතේ උඔ ඉන්නේ සතුටින් නෙමෙයි නම්, ලංකාවට එන්න හෙටම" කියලා. ඒත් හිතට එකගව තාත්තට තව දුරටත් කරදරයක් වෙන්න බෑනේ. ඒක නිසා රත්වෙච්ච වැලි උඩ වාඩිවෙලා ඉදගෙනම තාත්තට කියනවා "මං හොදින් තාත්තේ" කියලා.ඒත් ඉතින් හැමදාම මේක කරන්න බෑනේ.


ජීවිතේ තවදුරටත් විදවනවද? විදිනවද? කියලා හිතන්න කාලේ ඇවිල්ලා. ලංකාවේ සාමාන්‍ය මිනිහෙක් විදියට ගමට ගිහිල්ලා ගෙදර මිනිස්සු එක්ක ලුණුයි බතුයි කාලා හිටියත් සැපයි කියලා හිතෙනවා. ගමේ වුන් සැපයි කියන ලොකේ වුන්ගේ ඇස් ඉදිරිපිට රගපාලා පෙන්නන්න කාලේ ඇවිල්ලා.

අතීතයට වෛර කරන්නේ අනාගතේට මුහුණ දෙන්න බය මිනිස්සු කියලා තමා අපේ අම්මා කියලා තියෙන්නේ. ‍රැල්ලට බයනම් මිනිහෙක් කවදාවත් මුහුදු යන්නේ නෑලු.යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නෑලු. එහෙනම් ඉතින් "මොන අහවල් එකට තවත් මෙහෙට වෙලා ක‍ටු කනවදෝ" කියලා මමත් මෙහෙන් චුත වෙන්න කල්පනා කලා.

අනාගතේ එන හැම ප්‍රශ්ණයක් විසදන්නම මේ කාපු කට්ට ඉවහල් වේවා.....

No comments: